Sunday, September 1, 2019

කාන්තා ඔබේ නිරෝගීභාවයට - නාරි ගැටලු


නිවසක සිරියාව කාන්තාව වන්නේ ඇය සෑම අතින්ම සැබෑ වාසනාවන්තියක් නිසයි. වාසනාව ඇයට උරුම වන්නේ උපතින්මයි. පිරිමින්ට වඩා කාන්තාවන් ලෙඩට ගොදුරු වන්නේ අඩුවෙන්ය. ආයුකාලයද පිරිමින්ට වඩා කාන්තාවන්ට වැඩිය. මුනුබුරු මිනිබිරියන්ගේ දරුපැටවුන් දකින්නට තරම් ඇයට වාසනාව තිබේ. එමෙන්ම කාන්තාවගේ සුවසෙතට බාධා කරන ලෙඩරෝග ගණනාවක්ම තිබේ.

මිග්‍රේන්, විෂාදය, මුත්‍රා ආසාදන, ඔස්ටියෝපොරසීස්, පියයුරු පිළිකා, ලූපස්, යෝනි ගැටලු, ආතරයිටීස් වැනි රෝග කාන්තාවන් අතර ඉතා සුලභය. ඒ වගේම කාන්තාවන්ට පමණක් ආවේණික වූ රෝග කිහිපයක්ද තිබේ. කාන්තා සිරුරේ සුන්දරත්වයට මගපාදන මෙන්ම එය රෝගී කරන්නටද ඇයටම ආවේණික වූ සමහර ශාරීරික පිහිටීම් හේතු වේ . නාරි හා ප්‍රසව ගැටළු ගැන අප වැඩියෙන් අවධානය යොමුකළ යුතුය.
නාරි ගැටලු
1 ඔසප්වීම සම්බන්ද ගැටලු
2 මෞත්‍ර ලිංගික මාර්ගයේ ගැටලු
3 යෝනි ආසාදන
*** ලිපියේ ඉතිරි කොටස කියවන්න Read more ක්ලික් කරන්න ***



4 ගබ්සා මළදරු උපත්
5 නොමේරූ දරු උපත් නියමිත කාලයට පෙර දරුවා බිහිවීම
6 මවුකිරි දීමේ ගැටලු
7 ගර්භාෂ ගෙඩි

මේවා කාන්තා ගැටලු අතර ප්‍රධාන ස්ථානයක් ගනී. මෙම ලෙඩරෝග හදුනාගෙන ඒවාට නියමිත ප්‍රතිකාර කිරීම තුළින් කාන්තා සෞඛ්‍යය ආරක්ෂා කර ගත හැකියි .

 චක්‍රය අක්‍රමවත් වෙන්න හේතු
මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල කාන්තාවන් අත්දකින ඔසප් වීම සාමාන්‍යයෙන් චක්‍රයක ආකාරයෙන් සිදු වෙන්නේ. මෙම චක්‍රයේ කාල සීමාව දින 21 සිට දින 45 අතර වෙනස් විය හැකි වුවත් බොහෝ කාන්තාවන්ට දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව. දින 21කට  වඩා අඩු කාලයකින් හෝ දින 45කට වඩා ප්‍රමාද වී ඔසප් වීම අසාමාන්‍ය තත්වයක්.
ඔසප්වීම හඳුනා ගන්නේ මාසිකව යෝනි මාර්ගයෙන් සිදු වන රුධිර වහනය මගින්. රුධිර වහනය ආරම්භ වූ දිනය චක්‍රයේ පලමු දිනය ලෙස සලකනව. මෙය පාලනය වෙන්නේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් වීම මගින්. හෝමෝන වල ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙන්නේ මොළයේ ඇති හයිපොතැලමස කියන ප්‍රදේශය. එමගින් නිපදවන GnRH කියන හෝමෝනය මගින් පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන නිපදවීම පාලනය කරනව. මෙම හෝමෝන මට්ටම් චක්‍රාකාරයෙන් වෙනස් වෙන නිසා ඊට අනුරූප ව ඩිම්බ කෝෂවල වෙනස් කම් සිදු වෙනව.
ඔසප් චක්‍රයේ මුල් දින 14 තුල ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සිදු වෙන්නේ. මේ කාලය තුල ඩිම්බ කෝෂ වලින් ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවනව. එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත පිළිසිඳ ගත් කලලයක් තැන්පත් වීමට සුදුසු පරිසරයක් ඇති කරනව. 14වන දිනය වන විට ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිට වීම සිදු වෙනව. ඉන් අනතුරුව ඩිම්බ කෝෂයේ ඩිම්බය පිටවූ ස්ථානයෙන් දිගටම තව දින 10ක් පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවීම සිදු කරනව. පසුව මෙම සෛල හැකිළී යන අතර රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වෙනව. මේ නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳවැටී රුධිර වහනය ආරම්භ වෙනව.
ඉහත හෝමෝන චක්‍රය විවිධ හේතු නිසා බිඳ වැටෙන්න පුළුවන්. අධික ලෙස ව්‍යායාම වල යෙදීම, මානසික ආතතිය වැනි හේතු නිසා මොළයේ හයිපොතැලමස ප්‍රදේශයෙන් හෝමෝන නිපදවීම අක්‍රමවත් වී ඔසප්වීම අක්‍රමවත් වෙන්න හේතු වෙනව. ශරීරයේ බර අධික ලෙස වැඩි වුව හොත් මේද ස්තරය මගින් නිපදවන රසායන නිසාත් මෙම හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙන්න පුළුවන්. ඒ වගේම ඩිම්බ කෝෂ හෝමෝන වලට ප්‍රතික්‍රියා නො දක්වන රෝග තත්වයන් (Polycystic ovarian syndrome වැනි තත්ව) නිසාත් ඔසප් වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂ වයසට කලින් අකර්මණ්‍ය වීමත් සමහර විට අක්‍රමවත් ඔසප් වීමට හේතුවක් වෙන්න පුළුවන්.
ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්න පුළුවන්. ඔබ දරු ඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් මෙය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. නමුත් දරු ඵල බලාපොරොත්තු නොවන තරුණ කාන්තාවකගේ ඔසප්වීම අක්‍රමවත් නම් ඒ ගැන එතරම් කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත් ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වෙන්නේ නම් එය කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව ඇති කිරීමට හේතු විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
ප්‍රතිකාර ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව අනුව වෙනස් වෙනව. වෛද්‍ය වරයෙක් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අවශ්‍ය නම් ඔබට ප්‍රතිකාර නියම කරාවි. බොහෝ විට මේ සඳහා දෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු ඖෂධයක්. එම ඖෂධ ගෙන නතර කල පසු රුධිර වහනයක් සිදුවනව. නමුත් හෝමෝන ප්‍රතිකාර මගින්  නැවත ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වළක්වන්න බැහැ. එම නිසා මෙයට මුල් වූ හේතුව පරීක්ෂා කර බලා ප්‍රතිකාර කිරීම සමහර විට අවශ්‍ය වෙනව.  (ඉතිරි කොටස ඉදිරි සතියේ.)

පී.ජී.එස් දේවප්‍රිය
ප්‍රසව හා නාරිවේද වෛද්‍ය
කලුබෝවිල ශීක්ෂණ රෝහල 

No comments:

Post a Comment